මිනිස්සු ජාති දෙකයි . . .


පොඩිත්තාගේ දෑස් නිරන්තරයෙන් විමසිලිමත්ය. කුසගිනි ලද්දෙකු අහර සොයා පරීක්ෂාකාරී වන්නාක් සේම ගහකොල පිරුනු විස්මිත පරිසරයෙන් අපමණ විෂයන් ඉගෙනගන්නා හෙතෙම කුතුහලයෙන් යුතු දගකාර කොළු පැටියෙකි.
නිවසට පිටුපසින් ඇති කජු කැලයට ඉහළින් පෙනෙන දියපොකුණ කන්දෙන් ලෝකය අවසන් වේ. රෑට තරු දිළිසෙන්නේ අනේක රූ සටහන් මවමිනි. මහ රෑ දෙගොඩ ජාමයේ උවද පොල් කට්ටකට ඉටිපන්දමක් ගසාගෙන රබර් වත්ත මැද්දෙන් කොළඹ බලා පිටත් වන තාත්තාට වඩා වීරයෙක් සිටිය නොහැක. අම්මා තුරුළු කර නොගත්තොත් සැපට නිදනවා බොරුය. ආච්චිගේ කතාන්දර වල එන කුමාරිකාවන් උදෑසන හිරු කිරණ දිගේ අඹ හෙවන අතරින් ගෙමිදුලට වැඩම කරති. සීබා සහ බූලා තරම් ආදරණීය බලු පැටවුන්ට සමකල හැකි කිසිදු වත්කමක් පොඩිත්තෙකුට අත් නොවේ.
වැඩිහිටියන් තුරුල්ලේදී සවනත වැකුණු හැම කතාන්දරයකදීම අන්තිමේදී දුෂ්ඨයන්ට පරාජයම හිමි වී යුක්තිය ඉටුවීම පොඩ්ඩාගේ සිතට සතුටක් ගෙන දෙයි. නෙතට කදුළු පුරවාලූ පටචාරා වැනි කතාන්දර නොකියන්නැයි විශේෂ ඉල්ලීමක්ද අම්මා හමුවේ තැබූ පුතා වස්තුව ඉල්ලූ කාෂයප පුතුන්ට කවුරුන් හෝ පාඩමක් ඉගැන්නුවේද යන්න විමසූ මුත් පවුලේ කිසිවෙකුත් ඊට උත්තර බදින්නට දැන සිටියේ නැත.
නොයෙකුත් කර්මාන්ත කටයුතු කෙරෙහි උනන්දු පිටස්තරයෝද මේ ගමෙහි නිතර ගැවසුනෝය. නන්නාදුනන්නෝ උවද සැන්දෑ කාලයේදී වත්ත පිටියක පොල් ගෙඩියක් කඩාදීමට, දර කොටයක් පලාදීමට හෝ පුවක් වල්ලක් බිම බෑවීමට ගෙමිදුලට ගොඩ වදිති. කටයුතු අවසන කහට කෝප්පයකින් සප්පායම් වී හෙනo එන්නම් කියා පිටත් වී යති. මේ එන බොහෝමයක් නන්නාදුනන්නෝ පොඩ්ඩාගේ හිසද අතගා සෙනෙහස පාති. දo ගෙඩිද, කිරිල්ල ගෙඩිද, රතු පුහුලන්ද ආදී වූ උඩහ කැළයේ වස්තූන් පමනක් නොව නෙක වර්ණ කුරුළු පිහාටු මෙන්ම කුඹුරු ඇටද තෑගි ලබන පොඩිත්තා විශ්මය පිරුණු නෙත් විසල් කොට බලා හිදී.
සිය නිවස්නට උතුරින් පිහිටි නැන්දාගේ ඉඩම කෙලවරක ගබඩා කාමරයක හිටි අත් වැඩ සොයාගෙන ගමට පැමිණි එක් නන්නාදුනන්නෙක් පොඩ්ඩාගේ මිතුරෙක් විය. ගබඩා කාමරයේ සිට බැලූ කල එක් පැත්තකින් බතල හිටවූ පාත්ති හා ළිද පෙනෙනු ඇත. ගම්මිරිස් වැල් වලින් වැසුනු දෙල් ගස් හා කෝපි ගස් හේතුවෙන් සිය අම්මා තුරුල්ලේ සුරතල් වෙන වැස්සි පැටියා පෙනී නොපෙනී යයි. නන්නාදුනන මාමාගේ කමිස දෙකක් බෝල කූඩුවක එල්ලා ඇත. ගබඩාවේ එක් කාමරයක කළු ගල් කර්මාන්තයේදී පිපිරවීමට යොදා ගන්නා වෙඩිබෙහෙත් පුරවා ඇති බැවින් කර්කශ සැරක් නාස් පුඩු විදගෙන යයි. ඉර බහින හැන්දෑවට නන්නාදුනන මාමා එක්ක වචනයක් දෙඩවීම පොඩ්ඩාගේ සිරිතයි.
පොඩ්ඩාට අසනීපයක් ඇත. ඒ නොකියවා හිටියොත් කට කැසීමේ රෝගයයි.
නන්නාදුනන මාමා වැඩපළ අහවරව ගබඩා කාමරයට නගින පඩිපෙළෙහි වාඩිවී සිටියි. නිරාකරණය කරගත යුතු ගැටළුවකි .
මාමෙ මාමා තම්බිද?
අහ්. ඇයි පුතා එහෙම ඇහැව්වෙ.
අම්ම අච්චම්මල කතා උනා. මාම වැඩි කතා බහකුත් නැතෙයි කිව්වා. සරම විළුඹෙ ඇටේ ලගට අදින්නෙත් තම්බි අයළුනෙ.
තම්බි කියන්නෙ මල්ලිටනෙ පුතේ.
මල්ලි ..... ඒක තමයි. ඉතින් මාම තොප්පියක් දාන්නෙත් නෑනෙ.
සරම බිමටම අදින්නැත්තෙ ඉක්මනින් ඇවිදින්න බැරි හින්ද. ලබන සෙනසුරාදා ගමේ ගෙහුන් එන්න හිතාන ඉන්නවා. මයෙ පුතාට මොනවද ගෙනල්ල ඕනෙ.
ම්... මට ගේනවද කළු උක් ගස්. මo හරි ආසයි කළු උක් ගස් හපල කන්න.
පුතේ මේ ලෝකෙ මිනිස්සු ඔක්කොමල්ලා එකයි. අපියි තම්බියි හැමෝම එකයි. මිනිස්සු ජාති දෙකයි. එක කට්ටියක් හොදයි. අනෙක් කට්ටිය නරකයි. ඕන්න මදුරුවෝ එළි බහිනවා. මයෙ පුතා දැන් ගෙදර යන්න.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තිළිණ සහෝ... සුභ පතනව අදවතින්ම! ඉස්සර ආසාවෙන් කියවපු බ්ලොග් එක හිස් අහස... අද නිකම්ම වගේ සද්ද නැතිවෙලා. දෙබර වලිප්පුව කියවද්දිත් අමුතු ගතියක් දැනුනා.. රසවත් ලියමනක් බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete

Post a Comment

Popular Posts