මෙලෝ රහක් නැති දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය




ශ්‍රී ලාංකීය ජන මනස හෘද සාක්ෂිය පෙරටු කර ගත්තකි. වික්ටර් රත්නායක මහත්තයා තරුණ අඹුවක පාවාගත්තේයැයි පස් පඩංගුවේ බැණ වැදුනු මහ ජනතාවම ඉරාජ් කොලුවා පියුමි කෙලීව කරකෝලා ගැස්සූ වීඩියෝ එක නැරඹීමෙන් අනතුරුව අශක 180 කින් කැරකී ගියාහු; ඉක්බිතිව පියුමි කෙලීව හම ගැසූවෝය. ඉරාජ්ව දඩු කදේ හොවා ගෙන උගේ යූ ටියුබ් වීඩියෝවේ වීව්ස් වැඩි කලෝය. අන්තිමේදී මොනවා උනත් වික්ටර් රත්නායක ගොයියා පවු නේදැයි ඇසුවෝය.
අන්තිමේදී වික්ටර් රත්නායකයෝ නිදහස් පවුල් ජීවිතයකට හිමිකම් කීමත්, පියුමි හංසමාලිගේ කූට ප්‍රසිද්ධිය උත්කර්ෂයට නැගීමත් සේම ඉරාජ්ගේ ඔන් ලයින් ඉපැයීමේ මාර්ජින් එකත් හිට් වීමෙන් සභා තොමෝ සතුටින් විසිර ගියෝය.
ජනවාරි අට දේදුණු විප්ලවයෙන් අපේක්ෂිත වූ ප්‍රධානතම කරුණක් වශයෙන් දූෂිත දේශපාලනයන් සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමෙහිලා යහපාලන ආණ්ඩුව දැක්වූ pH 7 ක කාලකණ්නි උදාසීනත්වය හේතු කොටගෙන සමස්ත දේශපාලනය කෙරෙහිම ලබා තිබුනේ ඉතා පහත් පෙළේ පූර්වාදර්ශයකි. ඒනයින් රටට බරපතලම විනය කැටෙව්වේ සංවර්ධනයේදී දූෂණ සිදු කලා යැයි හංවඩු ගැසූ රාජපක්ෂ රෙජීමය නොව රටේ ඉදිරිගාමී වැඩපිළිවෙල වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී හඩේ අවි අමෝරාගෙන ඉදිරියට පැමිණි ලිච්ජවි පාලනයේ නායකයන්ම විය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේදී, කොස්ගම අවි ගබඩාව පුපුරා යෑමේදී, ස්වාභාවික විපත් හේතුවෙන් සිදු වූ ව්‍යසනයන්හිදී සේම අහස් උසට නැගි ජීවන වියදම හමුවේ උවද රජය ක්‍රියාත්මක වූ ආකාරය කිසිවිටෙකත් මහජනතාවගේ ඇගයීමට ලක් වන්නේ නැත. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අයන්නේ සිට හුයන්න දක්වා සිය නීති ශිෂ්‍ය අවධියේ සිටම කෙළ පැමිණි රනිල් වික්‍රමසිංහයන් මහ බැංකු බැදුම්කර සිද්ධියේදී පිළිබිඹු කල හිතුවක්කාර අගතිගාමී ප්‍රවේශය උන්නැහේව මිස්ට ක්ලීන් ස්ටේටස් වෙතින් උස්සා පොලවේ ගැසුවේය.
ව්‍යවස්ථාව සමස්තයක් ලෙස ගෙන කියැවීමෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ හිල් වැසී ගියේය. නමුදු ඒ ගේම් එක ශ්‍රී ලංකාවට අළුත් බලාපොරොත්තුවක් පිරවූ බව මගේ පෞද්ගලික මතයයි. යුද්ධය නිමාකිරීමේදීත්, රටේ යටිතල පහසුකම් සංවර්ධනයේදීත් හිටපු ජනාධිපතිවරයා දැක්වූ දක්ෂතාවය යහපාලන ආණ්ඩුවට කෙදිනකවත් ලගා විය නොහැකි තත්වයකි.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රකාශ කල පරිද්දෙන් යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකාවට උදාකර දුන්නේ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයකි. මගේ කියැවීම අනුව එහි පරම භුක්තිය අත් වින්දේ මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා LGBT (සම ලිංගික, ද්වි ලිංගික හා සංක්‍රාන්ති ලිංගික) කණ්ඩායමයි. මහ බැංකු හොරකම ගැන වගේ වගක් නැතිව වෙන අනේක හුට්ටප්පර ලියූ නාමධාරී ගවේෂණාත්මක මාධ්‍යවේදීන් හුදෙක් චෙක් ජර්නලිසම් පන්නයේ වෘත්තිකයන් පමණක්ම විය හැකි අතර, බොර දියේ මාළු බෑ විකල්ප මතධාරීන් තම තමන්ගේ නිදි යහනට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම වෙනුවෙන් නොසෑහෙන්නට කලබල වී සිටියහ. LGBT කණ්ඩායම් වෙත මගේ සැලකිල්ල හිමි වන අතර ඔවුන්ට කිසිදු වෙනස්කමකින් තොරව ජීවත් වීමෙහි අයිතිය පිළිගනිමි. නමුත් එඋන්දැලා වෙනුවෙන්ම ආණ්ඩුවක් පැවතිය යුතු බව ඉදුරා බැහැර කරමි.
යහපාලන ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාවෙදී මගේ නිරීක්ෂණය අනුව බහුතර ජන මනස රිද්දවූ ප්‍රධාන අවස්ථා දෙකකි. පළමු කාරණය වශයෙන් නැගෙනහිර මහ ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේ නාවික නිලධාරියෙකුට කල දෝෂාරෝපණයේදී සිංහල දකුණ හෙල්ලුනු බව අමතක කිරීම සහ දෙවැනුව ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කිරීමෙදී මංගල සමරවීර ඇමතිවරයාගේ මුවග තිබූ සිනහව බව කල්පනා කරමි.
ජනතා අභිලාෂයන් ඉතාමත් නොසැලකිල්ලෙන් බැහැර කර කටයුතු කල ආණ්ඩුව, උතුරේ එල්.ටී.ටී.ඊ ගැන කැටයම් කපන්නෝද දකුණේ පාතාලයද ගැන මෙලෝ වග විභාගයක් නැතිව සාමාන්‍ය ජනතාව වෙත බදු පැනවීමෙහිලා පමණක් උත්සුක වී සිටීම අවාසනාවන්ත තත්වයක් විය. උදගත වූ ව්‍යවස්ථා අර්බුදය හමුවේ ඊට විරෝධය පෑ අතොළොස්සක් වූ සැබෑ මධ්‍යස්ථ මතධාරීන් හැරුණුකොට අනෙකුත් පාර්ශවයන් වෙත පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක අවශ්‍යතාවක් ඇතැයි සිතිය නොහැක. වර්තමානයේ ලබන වරප්‍රසාද අත්හැරීමට ඇති බිය වේවා, ආණ්ඩු බල මාරුවකින් පසු සිදු විය හැකි ජීවිත තර්ජන ගැන වේවා ආදී හැගීම් පෙරටු කොට ගෙන නිර්මාණය වූ සංවිධානයන්හි තාවකාලික සාමාජිකයන් ලබන සතියේ සිට විසිර යනු ඇත.
ඉදිරි කාලයේදී විශේෂ වෙනස් වීම් අපේක්ෂා කල නොහැක. පලාත් පාලන මැතිවරණයට කලින් වාජීකරණ බීලා මෙන් කඩුව වැනූ අතිගරු ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ කුට්ටමේ කොල ගැන සාමානය හුදී ජනතාව වන අපට උවද වර්තමානයේදී මනා වැටහීමක් ඇත.
ව්‍යවස්ථාවේ වගන්ති අස්සෙන් රිංගා ගොස් ගැහූ ගේම් එක අසාර්ථක විය. නීතියේ ආධිපත්‍ය තහවුරු වූ අවස්ථාවකදී පවා ඉදිරියේදී අත්දැකීමට ලැබෙන දේශපාලන ක්‍රියාමාර්ග පූර්වාදර්ශ වශයෙන් යහපත් නොවනු ඇති බව විශ්වාස කරමි.
මේ රටට අවශ්‍ය වන්නේ පටන් ගත් කාර්යයක් තර්කානුකූලව අවසාන කල හැකි නායකත්වයකින් හෙබි දේශපාලන ව්‍යාපාරයකි. පේන තෙක් මානයේ එවන් වෙනසක් අපේක්ෂා කරනු බැරි වීම අවාසනාවන්ත තත්වයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ආදරණීය නායකයා විය. අවශ්‍ය අවස්ථාවේදී සිය පිල නියෝජනය කල පිස්සු බල්ලන් බැද නොදැමීම හේතුවෙන් සිය තනතුර පවා අහිමිකර ගත් ඔහුට මේ ගේම් එකද ගැස්සී ගියේය. විදේශ තානාපතිවරුන් මොනවා හිතාගෙන හිටියත් වික්ටර් රත්නායක පියුමි හංසමාලිව කසාද බැදලා ඉරාජ්ව දරු කමට හදාගත්තත්, ඉඩ ප්‍රස්ථාව ලද සැණින් පරණ "ස ප්‍රසංගයේ" සුගායනය මහ ජනතාවගේ ආදරණීය වැළදගැනීමම වනු ඇත.
එතෙක් .... මෙලෝ රහක් නැති දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා !

Comments

Popular Posts