ජීවිතේට නිවාඩුවක්



කදු මුදුනටම වාහනයකින් යන්න බැරි උනත් පහල වතු අධිකාරිගෙ රථ ගාලෙ සුරක්ෂිතව රිය නැවැත්වීමේ හැකියාව තියෙනව. සුන්දර තේ වත්තක් මැදින් පැය එක හමාරක වගේ පයින් ගමනක් තමයි ඉන් පස්සෙ තියෙන්නෙ. ගමන් මල්ලෙ බරට සහයෝගය ලැබෙන්නෙ කබානා වල අත් උදව්වට ඉන්න හිත හොද මිනිස්සුන්ගෙන්මයි.
උදේට මිහිදුමෙන් පෙරිල සූර්ය ආලෝකයේ උණුසුම හොයන දැවයෙන් නිම කරපු කබානා දෙකක් පහල පෙනෙන තද කොළ පාට වනාන්තරේට මුහුණ හරෝගෙන නිස්කලංකව පිහිටන්නෙ ස්වභාව සෞන්දර්ය, නිශ්ශබ්දතාවයේ සැනසුම, පිරිසිදු හුස්මක සැහැල්ලුව හා සීතල දිය ඇල්ලක පහස විදින්න පෙරුම්පුරන මිනිස්සුන්ගෙ ජීවිතාශාවට කමටහනක් දෙන්නමයි.
කබානා ඇතුලත පිළිවෙල කියා පාන්නෙ වනගතව තිබුන උනත් යහන් සරසන සුපිරිසිදු ලිනන් ඇතිරිල්ලෙන්. ඉහළ සනීපාරක්ෂක පහසුකම් එක්ක ඇමිණුන හොදින් ඉඩ කඩ ඇති වියන් ඇදන් වගේම සෝෆා සෙට් එක දුම් දමන කළු කෝපි සුවදක් එක්ක පොතක් හා දැහැන් ගත වෙන්නෙකුට දිව්ය ලෝකයක්.
ස්වභාවික ජල තටාකයක් වගේම ගස් පදුරු අස්සෙන් පල්ලම් බැස්සම මුලිච්චි වෙන කෝමලී ඇල්ලෙන් හිතපුරා දිය නා ගන්නත්, අඩි පහක් විතර ගැඹුරු නිල් පාට දිය වලේ කිමිදිලා මුළු ඇගේම ඇට මිදුළු සීතලට සට පට ගාල ගැහෙනකම් දියේ එබෙන්නත් ලැබෙන එක ජීවිත කාලෙදි හැබෑ වෙන එක සිහිනයක් වෙන්නත් පුළුවන්. සීතලට රැළි වැටුන අතැගිලි, රතු වෙච්ච ඇස් එක්කල හීතලේ වෙව්ලද්දි අප්පොගෙ දෑතින් උණු උණුවෙ පිළියෙල වෙන දුම් දාන කෑම පිගාන හායි හූයි ගාල භෝජනය කරද්දි කන් දෙකෙන් දුම් පිට වීමේ අත් දැකීම නිස්කාන්සුවේම විදින්න ඇහැකි.
රාත්රිය එළැඹෙන්නෙම විදුලි බල්බ තියෙන්නෙ කබානාවට විතරක් බව පසක් කරමින්. ඈතින් රෑ පුරා නිදිවර්ජිතව ගෙවෙන සියදෝරිස් උන්නැහැගෙ මුර කුටියෙ පවා දිදුලන්නෙ ලන්තෑරුම් එළියක් විතරයි. සදළු තලයෙ සැප ඇදි පුටුවකට බර වෙලා දුම් දාන බ්ලැක් පෝක් ප්ලේට් එකක් එක්කල රස්නෙට බැදිච්ච කජු හපන ගමන් ග්ලෙන්ෆිඩිච් උගුරක් තොල ගාද්දි ඉදිරියෙන් දිස් වෙන ගනදුරු මහ වනාන්තරේ අටෝහාරදහසක් සිතුවිලි ඒකාග්ර කරවනව.
උදැහැනැක්කේ අවදි වෙන්නෙම කන්කළු කුරුලු කූජනයෙන් මුසපත් වෙච්චි වෙරළු මල් පුසුඹ දසත පැතිරුන මෘදු හිරු කිරණ අතරින්. තෙත තණ පත් අතර ඉදිකර ඇති දැවමය මේස පුටු මතදි දුම් දමන බිත්තර ආප්ප, සුවද හමන පොල් රොටි එක්ක උගුරු දණ්ඩට සැර දනවන කොච්චි ලුණු මිරිසෙන් පාතරාසය ඇවිලෙනව. අප්පො දුම් දමන එළකිරි ජෝග්ගුව ගෙනත් ඉගුරු තලල දාල යාරෙ දිගට පස් වතාවක් දෙපැත්තට වනල ලොකු කිරි වීදුරුවක් පිරිනමනව. ඒකෙන් හමන සුවද ශ්වසන පද්ධතිය දිගේ උණුහුමට දුවනව.
මේ ගෙවෙන්නෙ අමරණීය ජීවන අත්දැකීමක් නේද කියල මම සිතුවිලි පරම්පරාවක නිමග්න වෙනව.
ජීවිතය විදින්න අද හෙටම ...
.
.
.
.
.
.
.
එහෙව් තැනක් මාත් මේ දවස් වල හොයනව. ඔහෙලට හම්බු උනොත් අපිටත් කියන්න හොදේ . . .

Comments

Popular Posts