ම්ලේච්ජ මූලධර්මවාදීන්ගෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම් මිනිස්සුන්ව බේරා ගැනීමේ අරගලයට එකතු වෙමු



2014 අවුරුද්දෙදි බණ්ඩාරණායක අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කරවීමේ මධ්‍යස්ථානයේදී [BIDTI] එවකට ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති වශයෙන් හිටපු අසිස් උද්දින් අහ්මඩ්සාඩා මහත්මයාගෙ දේශනයක් පැවැත්වුනා. සාම්ප්‍රදායික තානාපති රස්නයෙන් මිදුනු ඔහු තේ විවේකයේදි පවා අධ්‍යන කටයුතු කරපු සිසුන් සමග සුහද කතාබහක නියැලෙන්නට තරම් නිරහංකාර පුද්ගලයෙක්. 

දේශනය අතරතුරදී අපේ තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ධර්ම ප්‍රචාරණයෙහි අග්‍රගණ්‍ය ප්‍රතිලාභ ලද රටක් වශයෙන් ඇෆ්ගනිස්ථානය නම් කල හැකි බව ඔහු කිව්ව. ඒ සදහා සුනාපරන්තයේ පුණ්න තෙරණුවෝ මූලික වූ බවත් පර්සියන් සංස්කෘතියෙන් පෝෂිත වූ කාබුල් වාසීන් බෞද්ධ දර්ශනයෙන් උකහා ගත් වටිනාකම් තුලින් ලද ආලෝකමත් ජීවිතයක් ගත කල ඉතිහාසයක් තිබූ බවට අදහස් පල කලා.

සේද මාවතේ පිහිටි රටක් වශයෙන් මිශ්‍ර සංස්කෘතීන් තුලින් පෝෂණය වූ දේශයක් වූ ඇෆ්ගනිස්ථානය ඉන්දීය මෞර්ය වංශික අධිරාජ්‍යටද වරෙක යටත් වී තිබුන රටක්. සුප්‍රසිද්ධ බාමියන් බුදු පිළිම වහන්සේලා වනාහී ඒ ඇෆ්ගන් බෞද්ධයන්ගේ හදවතේ උපන් ඔවුන්ටම ආවේණික කලා නිර්මාණයන්.

බෞද්ධ හින්දූ සෝරෝස්ට්‍රියන් (zoroastrian) ආදී ආගම් ඇදහූ බහුතරයක් සමගිව වාසය කරද්දී අරාබි මහම්මදිකයන් විසින් ඉස්ලාම් ආගම ඇෆ්ගනිස්ථානය වෙත රැගෙන ආ බව පැවසෙනවා. එසේ උවද සියල්ලෝම වෙනස්කම් දරාගෙන ජීවිතය පවත්වාගෙන යද්දී වර්ෂ 1989 දී ඇෆ්ගනිස්ථානය මුහුන දෙන සිවිල් යුද්ධ තත්වය යටතේ හට ගන්නා දේශපාලන අස්ථාවරත්වය හේතු කොටගෙන 1994 වසර වෙද්දී මූලධර්මවාදී තලිබාන් සංවිධානය පරිපාලන බලාධිකාරය සිය අණසකට යටත් කර ගන්නා ලද බව කියා සිටි තානාපති වරයා ඉන් අනතුරුව සිය රටෙහි සමාජ සංස්කෘතික පරිසරය වේගයෙන් වෙනස් වූ බව කියා සිටියා.
ශරියා නීතිය බලාත්මක කරනු සදහා එවකට දිනකට මැරිය යුත්තේ කොපමණ මිනිස් ජීවිත ප්‍රමාණයක්ද යන වග සැලකිල්ලක් නොදැක්වූ මූලධර්මවාදීන් සමස්ත ජන ජීවිතය අන්තවාදීන්ගේ සම්පූර්ණ ග්‍රහණයට නතු කර ගත් බව පැවසූ අහමඩ්සාඩා මහතා අද පවතින්නේ ඇෆ්ගන් වැසියන්ගේ සිහින මරාදැමූ දේශයක් බවත් වර්තමාන ඇෆ්ගන් ජාතිකයා වෙනත් විකල්පයක් නැතිකම හේතුවෙන් ඊට අනුගතවී සිටින බවත් කියා දුන්නා.

අන්තර්ජාතික බලාධිකාරයන්ගේ හා මූලධර්මවාදීන්ගේ බලපෑමෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වුවහොත් ඇෆ්ගන්වාසීන් යනු කෙතරම් නිදහස අගයන විනෝදකාමී මිනිසුන්ද යන වග සමස්ත ලෝකය හමුවේ නිරාවරණය වනු ඇති බව සදහන් කල එතුමා බාමියන් බුදු පිළිම විනාශ කිරීම පිළිබද සිය බලවත් අප්‍රසාදයද පලකලා.

"අපේ පිරිමි කැමති නැද්ද ඔබලා වගේ විනෝද වෙන්න. අපේ ගැහැණු කැමති නැද්ද ලස්සනට ඇදල පාරෙ යන්න. BBC/ CNN අපි ගැන කියන්නෙ අමූලික බොරු." ඒ ඔහු දේශනය අවසානයේ කියපු වචන ...

බුර්කා නිකාබ් හිජාබ් කැමැත්තෙන්ම අදින, මේක අරාබි කොලනියක් කරගෙන ශාරියා නීතිය බලාත්මක කරගන්නකම් කසන උන්දැලත් ඇති. නමුත් ශ්‍රී ලාංකීය මුස්ලිම් බහුතරය ඔය අන්තවාදී අදහස් අනුමත කරන්නන් නෙමෙයි. මේක අපි හැමෝම අරගලයක ඉන්න යුගයක්. ජිහාඩ් වහාබ් අන්තවාදීන්ව විනාශ කරන ගමන් මේ ම්ලේච්ජ මූලධර්මවාදීන්ගෙන් ශ්‍රී ලාංකීය මුස්ලිම් මිනිස්සුන්ව බේරා ගැනීමේ අරගලයට එකතු වෙමු.

තිළිණ හිරිපිටිය
2019.05.01
ජායාරූපය : ඇෆ්ගන් කාන්තාව එදා සහ අද

Comments

Popular Posts