ජසයා ලෙන්චිනා




පෙරහැර සමය වනාහී ආගමික අර්ථයක් පෝෂණය කිරීමකට වඩා සoස්කෘතික වශයෙන් ජනතාව රොදබැද ගැනීමකට උනන්දු කරවන්නා වූ අත්දැකීමකි. බෞද්ධ පෙරහැර මූලික වශයෙන් ආගමික පුනුරුදය පුබුදුවාලනු වස් ප්රාදේශීය මට්ටමින් ජනතාව ඒකරාශී කර ගැනුමට උපකාරී වන අපූර්ව කලාත්මක අත්දැකීමකි. මහනුවර ඇසළ පෙරහැර වනාහී දළදා වහන්සේගේ හිමිකාරීත්වය හේතුවෙන් රාජයයේ භාරකාරීත්වය ලබන රාජකීයන් විසින් බෞද්ධ සම්ප්රදායන්ට ගරු කිරීමක් වශයෙන් අනුග්රාහකත්වය ලබාදෙන අසිරිමත් මoගල්ලයෙකි.
පෙර රජ දවස රාජපාක්ෂික භාවය පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් නම් දළදා පෙරහැරට සහභාගී වන නොවන නිළමේ වරුන් පිළිබදව කෙරෙන්නා වූ තක්සේරුවයි. උඩරට කුල ක්රමය හරහා ස්ථාපනය වූ පිළිවෙත්ද විහාර හා දේවාලගම් පනත යටතේ ඉඩම් අයිතීන් අහිමිව පීඩනයට ලක් උවද බැතිබර ජනතාවෝ දළදා පෙරහැරට සහභාගී වීම උතුම් බුද්ධ පූජාවක් ලෙස සැලකූ බවත් එය පාරම්පරික යුතුකමක් බවත් සැලකුවෝය. 

ආචාර්ය ධර්මසේන පතිරාජයන් අධයක්ෂණය කල සක්කාරo නැරඹිය යුතු අගනා කලා කෘතියක් වන්නේ පෙර කල උඩරට ජන ජීවිතයේ ඇතුලාන්තය හා දළදා පෙරහැර හා බද්ධ වූ කුල ක්රමයේ පිළිවෙත් ගැන අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙනි. https://www.youtube.com/watch?v=0T8m8uPt5Dc

පෙරහැර සමය ජීවිතයට ලබා දුන් අත්දැකීම් හරහා අතීතාවලෝකනය කිරීම ආතල් ගෙනදෙන සොදුරු ජීවන සිත්තමකි. මුලින්ම හා පුරා කියා පෙරහැරකට නැටුවේ වයස අවුරුදු දහයක් පමණ වෙද්දී ගමේ පන්සල වූ පහල බෝමිරිය අභිනවාරාමයේ කඨින පින්කමේ පෙරහැරටය. මට වඩා අවුරුද්දක් වැඩිමල් ඉලෙක්ට්රොනික් පිස්සෙකු වූ කැළුමා ජසයාට ඇන්ද අතර මම ආවේශ වූයේ ලෙන්චිනාගේ චරිතයටය. පැහුණු කොණ්ඩයක් මයිනා බැදගෙන රෙද්ද හැට්ටය ඇන්ද මට හුස්ම වැටුනේ ලෙන්චිනාගේ වෙස් මුහුණ බැන්දාට පසුවය.  එහෙන් මෙහෙන් මොකා හරි කෝචොක් කරන්නට ආවොත් කෙළලා අරින්නට කැටයම් කැපූ හැරමිටියක්ද ලද්දෙමි.

කාලේ මම කොහොමත් චබී එකා බැවින් බෝරිච්චි දැමූ හැට්ටය අස්සට පොල්කටු තියලා අහවල් දෙක උස්සලා තියන්නට උවමනාවක් නැති බැවු කියා සිටියේ මාව හැඩ ගැන්වූ උපාසක අම්මා කෙනෙකි. ගමන පටන් ගත්තායින් පසුව ජසයා ලෙන්චිනා පිටුපස්සට කොහෙන්දෝ බෙරයක්ද සෙට් වූයේ වැඩේ නැගලා ගිය බව තහවුරු කරමිනි.  අහු වෙන විදිහකට අඩි තිය තියා හැල්මේ නටමින් ගිය කැළුමාටත් මටත් වඩා වැඩිපුර නැටුවේ අපිට සහයෝගයට පිටුපසින් හුදී ජනතාවමය. නොසෑහෙන්නට බිස්කට් කා ෆැන්ටා පෝටෙලෝ බිබී ගිය පෙරහැර මට දැනුදු මැවී පෙනෙයි.

දෙවන අත්දැකීම මගේ ආදරණීය දහම් පාසැලේ මිහිදු පෙරහැරට සහභාගී වීම හා බැදුනු විචිත් මතක සටහනකි. මනා සoවිධාන ශක්තියකින් හා පෙර සූදානමකින් යුතුව සිදු කරන ධර්මසිරි දහම් පාසැල් පෙරහැර අදටත් දරුවන්ට සස්කෘතික පෝෂණයක් ලබා දීමට සමත් ක්රියාන්විතයකි. එවකට උච්චස්ථානයේ තරග වැදුනු සූර්ය නිවාසයේ ක්රියාකාරිකයෙකු ලෙස පෙරහැර වෙනුවෙන් ලැබෙන ඕනෑම අභියෝගයක් භාර ගැනීමට පුල පුලා සිටි මට ලැබුනේ වලහෙකුගේ වෙස් ගැන්වීමකි.

කොහෙන්දෝ ගෙන්වා ගත් දුඹුරු පාට වලහෙකුගේ ඇදුමක් ඇන්ද මට හුස්ම ගැනීමට ඉඩ ප්රස්ථාව තිබුනේ කට කෙලින් තිබුනු විවරයක් පමණි. වලස් කිට ඇන්ද ඕනෑම එකෙකුට පෙරහැරකදී හැමෝගේම ආදරය නොඅඩුව ලැබේ. පොඩි අවුලකට ඇත්තේ පාර දෙපැත්තේ බල්ලෝ උදහස් වීම හා පස්සෙන් පැන්නීම වන අතර බල්ලෝ වට කර ගනිද්දී වලහා බෝල් ගාඩ් දාගෙන කවුරුන් හෝ උදවුවට පැමිණෙන තෙක් නිසොල්මන්ව සිටිය යුතුය.

පෙරහැර වෙලේ හන්දිය පසු කරද්දී පාරෙන් පිට පැන්න වලහා එවකට පොඩි උන් අතර දසයා වූ කළු මල්ලියා වෙත කඩා පැන්නේය. කළු මල්ලියා පන එපා කියා දුවනවා දැක පෙරලි පෙරලී හිනා උනු වලහාට නැවත් පෙරහැරට එක් වීමට සිදු වූයේ පෙරහැර සවිධායක මණ්ඩලයේ ගුරුතුමෙකුගෙන් කනේ පාරක්ද කෑවායින් පසුවය. කාලය ගත වී අපි ඒකාකාරී කාර්ය බහුලත්වයක නිමග්නව සිටිමු. කළු මල්ලියා යොවුන් වියේදීම අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමුදුන්නේ අතීත මතකයන් මෙනෙහි කරවා ජීවිතයේ අනියතාවය කියා දෙමිනි.

ජීවිතයේ සෞන්දර්යාත්මක විදවීමකට නම් සපුරා ගත හැකි සරල දේ බොහෝම ඇත. සමහර විටෙක එය අහල පහලක විය හැකි අතර කිසිදු වියදමකින්ද තොර විය හැකිය. මහාප්රාණ සස්කෘතික පෝෂණයක් බලාපොරොත්තුවෙන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවාට වඩා පෙරහැරක කලා අoගයක් බලා තුටු පහටු වන නිකමට වගේ ලියා තබමි. 


2017 අගෝස්තු 07

Comments

Popular Posts