ජාතිවාදී ගිණිදැල් නිවමු

“ ආගම, ජාතිය කියන්නේ සාමුහිකව මිනී මරන්න හිත එකඟ කරවන නිර්වින්දනයක්. ඒක ශරීර ගතවුන සමාජයක් විනාශය කරා ගමන් කරන්නේ ස්වයංක්‍රීයව. 83 පණපිටින් මිනිස්කම ගිණි ඇවිලෙනවා ඇස් දෙකින් දැක්ක අපි ආයෙත් අපේ ජීවිත කාලයේ ඒ දර්ශන ඇස නොගැසෙන්න කල හැකි හැම දෙයක්ම කලා . ඒත් අපි පරාදයි.” – අශෝක හදගම

අසූ තුනේ කළු ජූලියේදී මහ ජාතියේ මැරයන් විසින් සිය දෙමව්පියන් නෑදෑයන් මරා දමා උපයාගත් වස්තුව මංකොල්ල කනවා දුටු දෙමල පැටවු තරුණ ගැටව් වෙද්දී කළු කොටි හා මිනිස් බෝම්බ වී රිටර්න් එක දුන්නාහුය. මිනී මස් වැදලි දකිද්දී හෝ පරාණ බයේ මග තොට යද්දී දෙමළු එහෙම උනේ කොහොමද කියන එක අපේ පරම්පරාවට තිබුනු ප්‍රශ්නාර්ථයකි. තේරුම් යන වයස එද්දී මේ වගේ ෆොටෝ ඇස ගැටෙන විට අවුරුදු තිහක විනාශකාරී යුද්ධයක් දායාද කිරීම සදහා ඒ කාලයේ අපේ ජාතියට අම්බානකට ආදරය කල පොරවල් සෑහෙනට මහන්සි වී ඇති බවත් දෙමළු ලග තිබූ රත්තරන් හා අනෙකුත් වස්තුව මංකොල්ල කාගෙන සිංහල ජාතියේ අභිමානය ලෝකය හමුවේ තැබීමට ගෙන තිබූ උත්සාහයත් අනවරතයෙන් තේරුම් ගත්තෙමු.

මුස්ලිම් මැරයෝ හතර දෙනෙක් කවුරුත් හොදයි කියූ සිංහල රියදුරෙකුට පහර දී මැරුවෝය. දැන් උන් බන්ධනාගාරයේය. මේ රටේ මිනිස්සු අවුරුද්දේ පෝය දොළහ පුරාවටම මිනී මරති. අපරාධකරුවන්ට දඩුවම් දීමට පොලීසියක් හා අධිකරණයක් තිබේ. සමහර විට පොලීසිය පිස්සු කෙළිද්දී වැසියෝ පොලිස් ස්ථාන වටකොට ටයර් පුච්චති. නිලධාරීන්ට ගේම කෝල් කරති. අධිකරණය ගැන විශ්වාසය කඩ වූ විට විරෝධතා පවත්වති. වරෙක නඩුකාරයෙකුට අසූචි ප්‍රහාරයක්ද එල්ල විය.
මුස්ලිම් උන් මැරුවේ සිංහල එකෙක් හේතුවෙන් ගම්මාන වලට වැදී භීෂණය පතුරුවා දේපල විනාශ කොට ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට කිසිදු සිවිල් වැසියෙකුට අයිතියක් නැත. ඒ ම්ලේච්ජ ප්‍රහාරයේ ඇති ජාතිකානුරාගය මොන බියගුලුකමක්ද?

ජිහාඩ් වේවා වහාබ් වේවා සියළු අන්තවාදීන් විනාශ කල යුතුය. නමුත් ඒ කසිප්පු බීලා පහන් පත්තු කර සා....දු කියන ජාතියේ පොරවල් හරහා නොව මනාව සංවිධානගතවය. මුස්ලිම් ජාතිකයන් වෙලදාමට ලංකාවට එද්දී ගැහැණු ගෙනාවේ නැත. උන්දැලා විවාහ වූයේ බොහෝ විට මහ ජාතියේ අපේම කාන්තාවන් සමගය. ඇම්මෙන් තම්බි මරන්නට යන උන්දැලා මතක තබා ගත යුත්තේ ඒ අපේ අනෙකා බවය. ලේ ධාතුවේ අක් මුල් ඉතිහාසයේ පටන් ගැට ගැසී ඇත.

මේ වෙද්දී දිගන මුස්ලිම් අම්මලාගේ ඇකයේ මරබයෙන් වෙලී ඉන්නා පොඩි පැටව් අනාගතයේ ගැටව් වෙද්දී අන්තවාදී සංවිධාන වල පහසු ගොදුරු වනු ඇත. උන්ගේ ආධ්‍යාත්මයට මහ ජාතියේ සිංහලයා යනු ම්ලේජයකු බව අමුතුවෙන් බ්‍රේන් වොෂ් කිරීමට සල්ලි වියදම් කල යුතු නොවේ. සුන්දර ශ්‍රී ලංකාව නැවතත් මිනී කන්නන්ගේ දේශයක් බවට පත් කිරීමට වෙර දරන අවිචාරවත් මිනිසුන්ට දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ප්‍රතිපල ලැබෙනු ඇත.

පළමු වෙනි ජේදයේ උපුටා දැක්වූයේ අශෝක හදගමගේ පෝස්ටුවකි. මෑන් දන්නා ලබ්බක් නැත. නීතියේ උදාසීනත්වය නොවන්නට බහුතරයක් අපේ පරපුර අවලම් ජාතිවාදයට පයින් ගසන්නේ දෙවරක් නොහිතාමය. මේ වෙලාවේ ජාතිවාදීන්ට ප්‍රබලම විරෝධය එල්ල වන්නේ සිංහල හෝ මුස්ලිම් වේවා සිය ජාතියේම අයවළුන්ගෙනි. මනුස්සකම අගයන ශ්‍රී ලාංකිකයන්ගෙනි. මේ අපරාධ වැලැක්වීමට අපි හැමෝම එක්විය යුතු වෙමු.

2018-03-07

ප.ලි. මේක පබ්ලික් දාන්නේ ෆේක් ප්‍රොෆයිල් වලින් කුණු හබ්බ කතා අහන්න වෙන බව දැනගෙනමය. මටත් ඇත්තේ ඉතා ඉහල මට්ටමේ කුණු හරුප සාක්ෂරතාවයකි.
බල්ලෝ බිරුවාට තවලම නවතින්නේ නැත.

Comments

Popular Posts