සැළලිහිණියෝ ... නුඹ දන්නෙ නෑ



ප්‍රජා සත්කාරක වැඩසටහනකට සහයෝගය ලබා දීම වෙනුවෙන් 2011 වර්ෂයේදී විතර මොරවැව සංචාරය කරන්න ලැබුන. යුද්ධයෙන් අනතුරුව විවිධ වෘත්තීන් නගා සිටුවාලීම වෙනුවෙන් වූ ඒ සම්පූර්ණ කාර්යය සංවිධානය කරල තිබුනෙ ගුවන් හමුදාවෙන්. කලින් දවසෙ රෑ ඔෆිසර් මෙස් එකේ කාමරේක පොඩි සංග්‍රහයක් සෙට් කරල තිබ්බ. ගෙදරින් වෙන් වෙලා දුර ඈත හිටපු ඒ නිලධාරීන්ගෙ කාමර ඇතුලෙ ආගමික වතාවත් කරන්න තැනක් වගේම තමන්ගෙ පවුලෙ ආදරණීයන්ගෙ ජායාරූප පරිස්සමට රාමු කරල බිත්ති පුරා රදවල තිබ්බ මට මතකයි.

මහ රෑ වෙද්දි සංගීත සාජ්ජයක් එක්කල සාදය දල්ලටම නැගල ගියා. එහෙ මෙහෙ වැනි වැනී හිටපු මට ඇද විට්ටමට අද්දරින් තිබ්බ කොපුවක් අස්සෙන් පිස්තෝලයක් අහු උනා. දකුණු අත උස්සල ඩිෂ්කෑව් කියල කටින් මම දාපු සද්දෙට මුලු සංගීත රාත්රියම ඩෝං ගාල නතර වෙච්චි. ස්කොඩ්රන් ලීඩර් කෙනෙක් හෙමින් ලගට ඇවිත් " තිළියා ... ඕක මෙහෙට්ට දියන් මයෙ අම්මා ..." කිව්ව. පස්සෙයි දන්නෙ බඩු ලෝඩ් කරල තිබ්බ පිස්තෝලයක් වග.
එදා රෑ මතක හිටින දවසක්. හැමෝම සින්දු කියද්දි එක නිලධාරියෙක් " සැළලිහිණියෝ ... නුඹ දන්නෙ නෑ ..." ගීතයට හරි ලස්සනට ගිටාර් එක ගැහැව්ව.

ඒ ගිටාර් පාර සති ගණනක් මගෙ කන් අඩි ඇතුලෙ දෝංකාර දුන්න.

හදිස්සියෙ අතීත සිදුවීම මතක් උනේ ඒ ගීතය ගායනා කරපු ගායිකාවගේ අභාවය සැල වීමත් එක්ක.

මහාචාර්ය අමරා රණතුංග මහත්මියට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

තිළිණ හිරිපිටිය
2018 ඔක්තෝම්බර් 16

Comments

Popular Posts