මේ අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරුණේ ජඩ මාධ්‍යවේදීන්ට පමණි ...


රටක ආරක්ෂක හමුදාවෝ මුර දේවතාවන් ලෙස බුහුමන් ලබද්දී ජනමාධ්‍යවේදීන්ට හිමි විරුදාවලිය වනුයේ දේශයේ මුර බල්ලන් යනුවෙනි. මුර බල්ලා යනු හුදෙක් වචනාර්ථයෙන් අපහාසයක් නොව රටට ජනතාවට අනතුරක් වනු දැක ඒ වලක්වනු අටියෙන් සියල්ලන්ගේම දැනගැනීමෙහිලා තොරතුරු වාර්තාකරණයයි. 

ඒ වාර්තාකරණය යනු විටෙකදී ජීවිත බිලි පූජාවක් වලක්වාලන ලිවිල්ලක් විය හැකි අතර තවත් විටෙක ජනතාවගේ මුදල් හෝ පොදුදේපල අවභාවිතයෙහි යොදවන මහජන නියෝජිතයෙකුගේ ජරාජීර්ණ දේශපාලන වැඩසටහනක් විය හැකිය. ජනමාධ්‍යකරුවෙකුගේ කාර්යභාරය යනු ඒ නයින් උතුම් වූත් වැදගත් වූත් සමාජ සත්කාරයක් බව සටහන් කල හැකිය.

මුදලට අකුරු පෙළගස්වන පෑන් පහරවල් හා බ්ලැක්මේල් ජනමාධ්‍යකරණය පිළිබද ඕපාදූප නොයෙකුත් විටෙකදී අප ජනසමාජය තුල සංසරණය වෙද්දී සමස්ත සමාජයේ කුණුවීමට සාපේක්ෂව ජනමාධ්‍යවේදීන්ද බඩ වියත වෙනුවෙන් පෑන් මයික් කැමරා මෙහෙයවීම පිළිබදව අමුතුවෙන් තේරුම්ගැනීමක් අවශය වන්නේද නැත.

පසුගිය කාලය පුරාවටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛස්ථානයෙන් බැහැර වද්දී, අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හමුවේ නීතිය ක්‍රියාත්මක නොවද්දී සේම නැගෙනහිර කේන්ද්‍රකොටගත් වහාබ් මූලධර්මවාදීන් සංවිධානය වෙද්දී ඒ ගැන වාර්තාකරණයෙන් බැහැරව සියතින් මුඛවාඩම් දමාගෙන වගකීම් පැහැර හැරි ජනමාධ්‍ය වෘත්තීයවේදීන්ගේ සාමාජීය වගවීම ගැන ප්‍රශ්න කිරීම සාමාන්‍ය සිවිල් පුරවැසියන් වශයෙන් පැහැර හැරිය යුතුද?

පලාත් පාලන මැතිවරණයෙන් පසු එළැඹි සංක්‍රාන්ති සමය තුල ජනාධිපති නිල නිවෙස හා අරලියගහ මන්දිරය වෙත යෑම් ඊම් කල සුඛෝපභෝගී වාහන පස්සේ දිවගිය මාධ්‍යවේදීන්ද, ඔක්තෝම්බර් 26 සිදුවූ දේශපාලන කුණාටුවේ පිහිටෙන් මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රවෘත්ති විකාශය පුරා කෙස් පැලෙන ව්‍යවස්ථා නීති තර්ක පමනක් විකාශනය කල වැඩසටහන් කළමනාකරුවන්ද, අහිංසකයන්ගේ ලේ උණුසුම හමන මේ වර්තමානයේදී එකිනෙකාට ඇගිල්ල දිගුකොට වගකීමෙන් බැහැර වන්නා වූ දේශපාලකයන්ට මයික්‍රෆෝන් ඇල්ලීමට වලිකන මාධ්‍ය ඔස්තාර්ලාද රට වෙනුවෙන් සිය වෘත්තීය වගවීමෙන් බැහැරව සිටින බව සාමාන්‍ය බුද්ධියකට ගෝචර වන සරල කරුණකි.

ත්‍රස්තවාදීන් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉක්බිතිව එකිනෙකා පරයා යමින් සියළු මාධ්‍ය ආයතන සීරියස් ලෙස එම අපරාධයේ කරුණු වාර්තා කරති. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ අක් මුල් සොයා ගම් නියම් ගම් පීරති. මාධ්‍ය සාකච්ජා වලදී දේශපාලකයන්ගේ පතුරු ගැලවෙන ආකාරයෙන් ප්‍රශ්න කරති. බැලූ බැල්මට පෙනෙනුයේ ඒ තරම් රටට ජනතාවට ආදරේ වෙන කවුරුත් නැති තරම්ය. ඒ ජනතාවගේ යහපත වෙනුවෙන් වූ මාධ්‍යකරණය වෙනුවෙන් නොවන බව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් අප සතු විය යුතුය. සියල්ල පිටුපස ඇත්තේ සිය මාධ්‍ය නාලිකාවේ රේටින්ග්ස් උස්සා ගැනීම මිස අන් කිසිවක් නොවේ.

ලෙයින් වැකුනු පශ්චාත් උත්සව සමයේදී උත්සන්න වූ මාධ්‍ය බලු පොරයෙහි උච්චතම අවස්ථාව වනුයේ පෙර දිනෙක මහින්ද දේශප්‍රිය මහතා විසින් ගලවා දැමුනු හිරු සලකුණෙහි මාධ්‍යවේදීන්ගේ කලිසම් නැවත උස්සා ගැනීමට ගත් නිරර්ථක උත්සාහයයි. ගැලරියේ විසිල් අපේක්ෂාවෙන් ජනමාධ්‍යවේදීන් සතු විය යුතු වෘත්තීය භාවය දඩාවතේ යැවූ ඔවූහු දැන් ඉන්නේ කරටියේය.

රට තුල අන්තවාදයේ වෙරසය පැතිරෙද්දී සිය වෘත්තීය වග වීමෙන් බැහැර වී සිටි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් තලු මරමින් ලිව්වේ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ ගැටළු සම්බන්ධයෙනි. නොඑසේනම් හැන්දෑවට බියර් බීලා කයිවාරු ගැසිය හැකි ලොවෙත් නැති තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්පයකි. ලීඩි නිව්ස් වෙනුවෙන් මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ගැන වද වෙනවාට අමතරව වෙනත් සාමාජීය ප්‍රශ්න ගැන වාර්තා නොකල හැකි පරිද්දෙන් තලු ගසා කන්නට මස් කටු ලැබී තිබුනේදැයි සැක සහිතය.

සේයා දියණිය දූෂණය කොට මරා දැමීමෙන් ඉක්බිතිව සැක පිට අත්අඩංගුවට ගත් කොණ්ඩයා වෙත දිව ගිය මාධ්‍යවේදියෙක් දේශපාලනයට එන්න අදහසක් තියෙනවාදැයි ඇසුවේය. අපි ජීවත් වෙන්නේ එවැනි අධම මුර බල්ලන්ගෙන් සමන්විත සමාජයක වීම තේරුම් යෑමම අවාසනාවකි.

මේ අවාසනාවන්ත තත්වයට වග කිව යුත්තේ වෙන කවුරුවත් නොව දැනට ජීවතුන් අතර ඉන්නා අපි හැමෝමය. ජනසම්මතවාදයෙන් පත්ව වගවීමෙන් බැහැර වී හිනා වීගෙන ආතල් එකේ ඉන්නා දේශපාලකයන්ට හෙටත් ජන්දය දෙන්නේ අපිමය. ශ්‍රී ලාංකීය ජාතියේ අනාගතය වෙනුවෙන් මුර බල්ලාගේ කාර්ය භාරය හරියට ඉටු කරන මෙන් හෘද සාක්ෂියක් ඇති වෘත්තිය ජනමාධ්‍යවේදීන් අතළොස්ස වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමු.

කිරිසප්පයන්ද ඇතුළු අහිංසක මිනිස්සු විනාශ වීමට ඉඩදී ඔවුන්ගේ ලේ මස් වැදලි ප්‍රචාරණයෙන් ලබන වැටුපෙන් සරි කරගන්නා අසික්කිත ජඩ මාධ්‍යවේදීන්ගේ බත් පතෙන් මල මිනී දුර්ගන්ධයක්ම වහනය වනු ඇත.

තිළිණ හිරිපිටිය
2019.05.03

Comments

Popular Posts