මීයා කියන්නෙ ආතල් සතෙක්



බොහොම සාමකාමීව පවුල් පන්සල් වීමේ ප්‍රීතිය භුක්ති විදින තලත්තෑනි දෙමාල්ලන් එක දවසක රෑ ජාමෙ ගෙදර ලී සිවිලිමෙන් ආපු ගොර බොර දඩං බඩං සද්දෙට ඇහැරුණා. මොකාද වදේ මේ මහ රෑ වහලෙ හක්කලං කොරන්නෙ කියල අහපු මායියට ගෙදර ලොකු උන්නැහේ කිව්වෙ ඔය කලවැදෙක් හරි උගුඩුවෙක් හරි වෙන්නැතිය කියල.

පහුවෙනිද උදේ ලොකු උන්නැහේ තමන්ගෙ ගමන් මල්ලත් අරන් රැකී රක්සාව කරා පිටත් වෙන්න දොරකඩට ඇවිත් උඩ බැලුවා. 
" ආන්න ඒයි ... ඊයෙ රෑ ජාමෙ හොල්මන් කරපු එකා ..." කියල උළුවස්ස උඩ ලැගල හිටපු ටොම්බ සයිස් මීයෙක්ව මායියට පෙන්නුව.

අවාසනාවක මහත කියන්නෙ උදේ වැඩට යමින් ඉද්දි මුහුණ දීපු හදිසි අනතුරකින් ලොකු උන්නැහේ මියැදුනා. බොඩි එක ගෙනාවෙ රාත්‍රී කාලයෙ. කිරිඅප්පොච්චියේ මායියා අඩනවා ගම වෙවුලන්න.

" අනේ මගෙ දෙයියෝ මට අද උදේ මීයත් පෙන්නල නේද ගියේ ... "

මල ගේ පැත්තක. ගමේ එවුන්දලා හිනා වෙනවා පුතා බිම පෙරලීගෙන. ඔව් !

ගණ දෙවියන්ගේ වාහනය වෙච්චි මීයාට ලෝකයා සලකන්නෙ එක එක විදිහට. නැගෙනහිර ආසියාතික රටවල් වෙච්චි කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය ආදී රටවල් වල තෙම්පරාදු කරන ලද මීයන් කෑමට ඇති ඉල්ලුමට නොදෙවෙනි ඉල්ලුමක් ලොකු සයිස් අප්‍රිකානු මීයාට කැමරූන්, නයිජීරියා ආදී රටවල් වල ජනතාව අතර තියෙනව.

ඉන්දියාවෙ රාජස්ථානයේ පිහිටි කානි මාතා පුද බිමේදී මීයාව දේවත්වයේ ලා සැලකෙනව. එක් රොක් වෙන ජනතාව වෙතින් නැවුම් කිරි ආදියෙන් පුද ලබන මීයෝ බැතිමතුන්ගෙන් විසින් කෙරෙන වන්දනාවන්ද උපේක්ෂාවෙන් ඉවසා වදාරණව.

අපේ ගෙදරත් මීයො අල්ලන උගුලක් තියෙනව. මරන එකක් නෙමෙයි. පුච්චපු පොල් තියල කූඩුවට කොටු කරන ජාතියෙ උගුලක්. උදේට මීයෙක් කොටු වෙලා ඉන්නැද්දි ගෙදර ඈයො වයස් බේදයකින් තොරව සතුටු වෙනව. පස්සෙ කාට හරි කියල ගෙදරට ඈත වන ළැහැබකට ගෙනිහින් නිදහස් කරනව. ආතල් එක තියෙන්නෙ මීයා ගෙනියන එක පරක්කු වෙද්දි. එතකොට ඌ සමස්ත පවුලේම අනුකම්පාවට පත් වෙලා බිස්කට් කෙසෙල් වගේ කෑම වලිනුත් පුද සත්කාර ලබනව. එකපාරක් එහෙම හුරතල් වෙච්චි මීයෙක් උගුලෙන් පැනල ආයෙත් ගේ ඇතුලටම රිංගුව.

මීයා කියන්නෙ ආතල් සතෙක් වගේම ඌ හින්ද කරදර වෙන අයත්, වැඩිපුර සැලකිලිමත් වෙලා අමාරුවෙ වැටෙන අයත් එමටයි. ඉස්කෝලෙ පහ වසරෙදි මීයා සහ කලිසමේ සිප් එක අතර ඇති සදාතනික ගැටුම නිසා දුක් විදි එකෙක්ව මේ ලියමනට ටැග් කරන්නෙත් අත්දැකීම් මතින් තමයි කොල්ලෙක් මිනිහෙක් වෙන්නෙ කියන එක ලෝකයට පසක් කිරීමේ අරමුණින්.

එහෙම නැතුව මේ ඇඩ්වර්ටීස්ට්මන්ට් එකට රුවනගෙ සම්බන්ධයක් නෑ. ඌ ඇවිල්ලා ලද දෙයින් සන්තෝස වෙන අල්පේච්ඡ ජීවිතයක වටිනාකම පසක් කර ගත්ත එළ කොල්ලෙක් !

#සුදුජූලියටජයවේවා
#තියෙනහකුරරැකගන්නේ

2019. 07. 09
[අවමගුල කතා රසය සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න. සීරියස් ගැනීමෙන් වලකිනු !]

Comments

Popular Posts